Friday, August 1, 2014

ඇයි............!



මා හට එක දිගට කිසිම වැඩක් කරගෙන යා නොහැකිය. ආරම්භ කළ ව්‍යාපෘති වලින් මෙතෙක් පවත්වාගෙන එන්නේ විවාහයකින් සාර්ථකව අවසන් වූ ‍දෙවන ප්‍රේමය පමණි. එහි සාර්ථකත්වයට හේතුව හුදෙක් එය හවුල් ව්‍යාපෘතියක් නිසාවෙන් බව හඟිමි. එබැවින් අද දින ආරම්භ කරනා මෙම බ්ලොග් ව්‍යාපෘතියේ ආයුකාලය දින හෝ පෝස්ටු කෙතෙක් වේදැයි නොදනිමි.

එමෙන්ම, මා බ්ලොගක් ලියන්නට අදහස් කලේ මන්දැයි මා මාගෙන්ම විමසුවත් දෙන්නට නිවැරදි හෝ නිරවුල් පිළිතුරක් මගේ හිත සතුව නොමැත. එබැවින් පිළිතුරු නොමැති පැණයක් වෙනුවෙන් වෙහෙසෙනවාට වඩා තවත් එක් වැකියක් හෝ ලිවීම පලදායීවේ. කෙසේ වෙතත් මාරයා, රවී, මාතලන් හා කතන්දරකාරයා යනාදීන්ගේ බලොග් ලිපි කියවීමෙනුත් ඉවාන්, පත්තර මල්ලී වැන්නන්ගේ ප්‍රාණවත් (හාස්‍යජනක) කමෙන්ටුත් (සමාවන්න, මා සඳහන් කළේ මෑතකදී ඇස ගැටුණු කීපයකි) මා මෙම කර්තව්‍යය සඳහා පෙළඹවූ බව සඳහන් කළ යුතුය.

මගතොට යනෙන විට දකින මුත් නොදකින, ඇසෙන මුත් නොඇසෙන චරිතයක් ලෙසින් ඔබ අසලින් පියමන් කරනු කැමැත්තෙමි. යාචකයෙකුට මුදලක් දුන් අයෙක්, ආබාධිතයෙකුට පාර මාරුවීමට උදවුකළ අයෙක්, ‍රසකැවිලි දවටනයක් අහුලා කසළ බඳුනකට දමන අයෙක් යම්තාක් වේලාවකට ඔබේ මතකයේ රැඳී තිබී මැකී යන පරිද්දෙන් මැකී යනු කැමැත්තෙමි. 

තවද, "මනා" යනු මගේ සැබෑ නම නොවන බවත් මෙය මගේ හුරුපුරුදු රචනා ශෛලිය නොවන බවත් සඳහන් කරනු කැමැත්තෙමි. නික්ම ගිය පසු මතකයේ රැඳෙන්නට අකමැත්තෙමි.

ඊළඟ ලිපියෙන් හමුවෙමු........?